Friday 17 January 2014

ආදරය

මිහිරි රස යැයි ආදරය
සිතා මම රැවටුන කලෙක
බදා ගත්තෙමි දෝත පා
ආදරය යනු සැනසුම සිතා

ලදිමි නොලදිමි වරින් වර
මම හීන මැව් ආදරය
වරෙක සියුමැලි වරෙක වියරු වෙන
නොවේමයි එහි සැනසුමක්

ආවෝය, ගියෝය සමහරුන්
සිටියේය ළඟ රැඳී සමහරෙක්
සීරුවට ටිකක් දුර හිතුවොතින්
මට මාව නැති කළේ නම් ඔවුන්

කඳුළකට නැත තේරුමක්
සුසුමකට නැත වැටහුමක්
ජීවිතය මං මුළා කරවන
ආදරය පුහු මායාවක්

Sunday 24 November 2013

ජීවිතය නැවතුනා

වස්සාන මල් පිපුණු
නිල් පාට අහස යට
මං මවපු හීන පොදි
සුණු වී ගියා...

හිරු ගිලුණු අතීතෙක,
මං පතපු අනාගත පැතුම්
මිලින වී නෙතු ඉමේ
මියැදී ගියා...

සෙනෙහසේ සුව සොයා
ඉගිල ගිය දෑත් තටු
රිදී රිදී වියපත්ව
එක්තැන්ව ගොලුවුනා...

කඳුළක්ද සුසුමක්ද
ජීවිතය මායාවක්ද
හති වැටී මිරිඟුවේ
මම ඔහේ නැවතුනා...

Thursday 21 November 2013

වහිනවෝ...

මම ඉතින් ඉන්නෙ මැදපෙරදිගනෙ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වල. ලංකාවෙ සබරගමු පළාතට නිතරම වහිනව උනාට මෙහෙට වහින්නෙ අවුරුද්දකට දවසයි දෙකයි. මම ලංකාවෙ සබරගමු පළාතෙ හින්දා වැස්ස එපා වෙලානෙ ඉතින් ඉන්නෙ. ඒ වුනාට සෙල්සියස් අංශක පනහටත් වඩා උෂ්ණත්වය ඉහළ නගින කොට අනේ වහිනවනම් කියලා හිතෙනවා. ලංකාවෙ ඉද්දි වැස්ස එපා වුනාට වැස්සෙ තෙමෙන්නත් හරි ආසයි. පොඩි කාළෙ වැස්සෙ මඩ වලවල් වල උඩ පැනපු හැටි මට ඔන්න අදත් මතක් වුනා.

අද අපිට වහිනවා. තෙමෙන්න විදියක්නම් නෑ ඉතින් වැඩ කරන්න එපායැ.අපිට මේ වහින්නෙ පහුවුනු පෙබරවාරි වල වැස්සට පස්සෙ විතර. සතියක් තිස්සෙ නිව්ස් වලට කියනවා අද වහිනවා හෙට වහිනවා කියලා. ඊයෙ නිව්ස් වලට කිව්වලු සිකුරාදා තමයි ඩුබායි වලට වහින්නෙ කියලා. ඒත් අනේ මංදා ඔන්න අද උදේ ඉඳන් වහිනවා. මෙහෙට වැහැපුවම ඉතින් සදා අනාතයි. වැඩිය වහින්නෙ නැති රටවල්  නිසා වතුර බහින විදියට පොළොව හදලා නෑනෙ. පොඩ්ඩක් වැස්සත් වතුර පිරිලා පිටාර ගලනවා. පාරවල් යට වෙනවා. මේ රටවල් කාන්තාර නිසා ඉස්සරනම් වහින්නෙම නැතිලු. ඒත් දැන් ටිකක් වෙනස්. මොකද රටවල් ජනාකීර්ණ වෙලා වටපිටේ ලස්සන කරන්න දැන් ගොඩක් ගස් වැල් වවලනෙ. ඒක නිසා දැන් ඉස්සරට වඩා වහිනවලු. ඒ හින්දා දැන් ගස් වැල් වවන එක සීමා කරලා. ගොඩක් උස යන විශාල ගස් එහෙම වවන්නත් තහනම්ලු. පැය දෙක තුනක් එක දිගට වැස්සොත් පාරවල්, ෂොපින් මෝල් වල එහෙම වතුර පිරෙනවනෙ. ඒ කාලෙට ඒවයෙ බඩු මුට්ටු පීනනව එහෙම දැක බලාගන්න පුලුවනි.

මේ අවුරුද්දෙනම් තාම වහින්න හිතුවා විතරයි. දෙසැම්බර් වල එහෙම තමයි වැඩියෙන් වහින්නෙ. වැහැලා නන්නත්තාර වෙච්චි පින්තූර ටිකකුත් බලන්නකො.






                                       පොඩි එවුන්ට නම් වැහැපුවම අවුරුදු. අපි වගේමයි. ;)




මේ පින්තූර නම් මේ අවුරුද්දෙ ඒව නෙමෙයි.

අන්න පෝස්ටුව ලියලා ඉවර වෙන්නත් කලින් වැස්ස පායල අව්වත් වැටිලා.. :(

Thursday 14 November 2013

අනේ මංදා..

පාලුවේ බෑ. හරියට නිකං කාන්තාරෙක තනිවෙලා වගේ. කරන්න වැඩකුත් නැතුවම නෙමෙයි. එව්වා කරන්නත් කම්මැලී. මොනවා වෙලාද මන්දා. ළඟ පාතක මිනිස් පුළුටක් නෑ වගේ දැනුනට ඕනි තරම් මිනිස්සුත් ඉන්නවා. සාංකාව වගේ හිතටත්. ඇයි මේ...? ඔයා ළඟ නැති නිසාද? අනේ මංදා.. මෙහෙමත් අවනඩුවක්... !!!

හිත පුරා දැනෙන තනිකම නිසා
ළය පුරා නැගෙන සුසුමන් වසා
නෙතු පුරා උනන කඳුළැල් දරා
හිඳිමි මම නුඹ ඒද මග බලා


Monday 4 November 2013

මඩොල් දූව යළි කියවීමි.


පහුගිය සාහිත්‍ය මාසෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබුණු පොත් ප්‍රදර්ශනයෙදි කියවීමට කැමතිම පොත සහ කියැවූ පොත් අතරින් මතකයේ රැදුණු පොත ගැන කරපු සමීක්ෂණයකින් වැඩිම පාඨක පිරිසකගෙ කැමතිම පොත බවට පත්වෙලා තියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ ' මඩොල් දූව ' නව කතාවලු කියලා පත්තරේක තිබුණු ආර්ටිකල් එකක දැක්කා. අවුරුදු දහයකට දොළහකට ඉස්සර මාත් ' මඩොල් දූව ' කියෙව්වනෙ. කතාව උඩින් පල්ලෙන් මතක තිබුණට මට ආයෙත් ඒක කියවන්න ආස හිතුණා. පොත් කියවන්නත් ඉතින් පොඩි කාළෙ ඉදන් ලොකු පිස්සුවකුත් තියනවනෙ.

ඉන්නෙ ලංකාවෙ නෙමෙයි හින්දා කඩෙන් පොත් ගන්න බැරි එකේ හැමදේටම හොඳම යාලුවා වෙච්චි ' ඉන්ටනෙට් ' එකෙන්ම පොත හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්තා.  ( ලැප් එකෙයි, පෝන් එකෙයි පොත් කියවලා දැන් ඇස් දෙකට මොකද්දෝ වෙලත් එක්ක.. )

http://www.mediafire.com/download/gtgq6ptty742xaz/Madol+Duwa.pdf

ඔන්න ඕනි කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක්..

ඉතින් ' මඩොල් දූව ' කියවන්න ගත්තා. කියවගෙන යනවා මිසක් කන්නවත් සිහියක් තිබුණෙ නෑ. හොඳ පොතක් හම්බවුණාම ඒක සාමාන්‍යයිනෙ. හැමදාම වගේ මෙලෝ සිහියක් නැතුව කියෝනවා කියලා බැණුම් තොගේකුත් අහගන්න ගමන් ඉතින් පොත කියෙව්වා. ඉස්කෝලෙ යන කාලෙනෙ කලින් ' මඩොල් දූව ' කියෙව්වෙ. ඒ දවස් වලට වඩා දැන් පොතක රසය දැනෙනවනෙ.

උපාලි ගිනිවැල්ලෙ.. කොයි තරම් ලස්සන, අර්ථවත් චරිතයක්ද..? මහ පොළවෙ පය ගහලා ජීවත් වුණු සැබෑ චරිතයක්. පොත කියවගෙන යද්දි මට මමත් ජීවමානව ඒ කතාවෙ කොණක ඉන්නවා කියලා දැනුණා. ගිනිවැල්ලෙගෙ  වගේ ගම පුරාම දඟ කරපු, බැණුම් අහපු, ගුටි කාපු සුන්දරම ළමා කාලයක් මටත් තිබුණා ආයෙත් නොඑන. :(
අධිෂ්ඨානය, නිර්භීත කම, උත්සාහය නිසා ගම පුරාම නරක ළමයෙක් විදියට හංවඩු ගැහුනු ගිනිවැල්ලෙ, එයාගෙ ජීවිතේ ලස්සනට ජයගන්නවා.

මේ වගේ ලස්සන, වැඩකට ඇති නවකතා ලියන්න දැන් ලේඛකයො නැති එක ගැන හරි දුකයි. තැනේ හැටියට ඇණේ ගහනවා වගේ දැන් වැඩියක්ම ලියන මිනිස්සු ලියන්නෙ තමන්ගෙ වාසිය තකාගෙන මිසක්, සමාජෙට යමක් දෙන බලාපොරොත්තුවෙන් නෙමෙයි. බොළඳ නවකතා පොත් සාප්පු පුරෝල තියෙන්නෙ ඒකයි.

පහ වසරෙදිද කොහෙද කොග්ගල තියන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ කෞතුකාගාරය බලන්න ගියා මතකයි. ලංකාවට ගියපු දවසක ආයෙත් වතාවක් යන්න බලාපොරොත්තුවකුත් හිතට එකතු වුනා.

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයෙගෙ තව පොත් හොයන්න කියලා ඉන්ටනෙට් එකම පීරුව. ඒත් වෙන  ebooks  මොකුත් හොයාගන්න බැරි වුනා. මේක කියවන කෙනෙක් ඒ පොත් ඉන්ටනෙට් එකෙන් ගන්න පුලුවන් විදියක් දන්නවනම් ලින්ක්ස් දීලා යන්න කියලත් පොඩි ඉල්ලීමක් කරනව.

Thursday 31 October 2013

~~~ නුඹට ~~~

සහස් තරු කැට 
දිලෙන අහසක,
පුර හඳක් ලෙස
නුඹ දිලීයන්...
එපුර හඳ මැද
පුංචි සාවිය
ලෙසම ළඟ හිඳ
නුඹ රකින්නම්...

සිත් සතන් සැම
නිවා සනහන,
මියුරු ගීයක් 
නුඹ ගයාපන්...
එසිත් පිනවන
ගීය නළවන
මධුර මනෝහර
තනුව වෙන්නම්...

උතුම් දයාබර
නුඹේ මුදු පෙම,
මටම පමණක්
සින්න කරපන්...
එපෙම් රුවනට
වැඩිය සෙනෙහෙන්
සසර වසන තුරු
ළඟ හිදින්නම්...