Showing posts with label කවි ගෙත්තම්. Show all posts
Showing posts with label කවි ගෙත්තම්. Show all posts

Friday, 17 January 2014

ආදරය

මිහිරි රස යැයි ආදරය
සිතා මම රැවටුන කලෙක
බදා ගත්තෙමි දෝත පා
ආදරය යනු සැනසුම සිතා

ලදිමි නොලදිමි වරින් වර
මම හීන මැව් ආදරය
වරෙක සියුමැලි වරෙක වියරු වෙන
නොවේමයි එහි සැනසුමක්

ආවෝය, ගියෝය සමහරුන්
සිටියේය ළඟ රැඳී සමහරෙක්
සීරුවට ටිකක් දුර හිතුවොතින්
මට මාව නැති කළේ නම් ඔවුන්

කඳුළකට නැත තේරුමක්
සුසුමකට නැත වැටහුමක්
ජීවිතය මං මුළා කරවන
ආදරය පුහු මායාවක්

Sunday, 24 November 2013

ජීවිතය නැවතුනා

වස්සාන මල් පිපුණු
නිල් පාට අහස යට
මං මවපු හීන පොදි
සුණු වී ගියා...

හිරු ගිලුණු අතීතෙක,
මං පතපු අනාගත පැතුම්
මිලින වී නෙතු ඉමේ
මියැදී ගියා...

සෙනෙහසේ සුව සොයා
ඉගිල ගිය දෑත් තටු
රිදී රිදී වියපත්ව
එක්තැන්ව ගොලුවුනා...

කඳුළක්ද සුසුමක්ද
ජීවිතය මායාවක්ද
හති වැටී මිරිඟුවේ
මම ඔහේ නැවතුනා...

Thursday, 31 October 2013

~~~ නුඹට ~~~

සහස් තරු කැට 
දිලෙන අහසක,
පුර හඳක් ලෙස
නුඹ දිලීයන්...
එපුර හඳ මැද
පුංචි සාවිය
ලෙසම ළඟ හිඳ
නුඹ රකින්නම්...

සිත් සතන් සැම
නිවා සනහන,
මියුරු ගීයක් 
නුඹ ගයාපන්...
එසිත් පිනවන
ගීය නළවන
මධුර මනෝහර
තනුව වෙන්නම්...

උතුම් දයාබර
නුඹේ මුදු පෙම,
මටම පමණක්
සින්න කරපන්...
එපෙම් රුවනට
වැඩිය සෙනෙහෙන්
සසර වසන තුරු
ළඟ හිදින්නම්...

Monday, 28 October 2013

පෙම්බර මව්නි...

දස මසක්ම නුඹ කුස තුළ මා                      හෙව්වා
බිහි කර ලොවට මා ආදරයෙන්                   හැදුවා
රුධිරය නුඹේ කිරි කොට මා හට                 පෙව්වා
පෙම්බර මව්නි නුඹ හට මහිමය                  වෙම්වා

පින්බර නුඹේ මුදු සෙනෙහස                    සිහිලැල්
සිහිවෙන විටදි නෙතගට මතු වෙයි            කඳුළැල්
උණුසුම සොයාගෙන මව් උකුලේ              සුරතල්
එන්නට හිතයි එක පිම්මට සේ                  පවනැල්

හිත් පිත් නොමැති මිනිසුන් මා වට                   කර
වියරු ලෙසින් හැසිරෙයි ලෙස රුදු                 කතර
නපුරුයි අම්මෙ දරුණුයි මේ වැලි                   කතර
සිහිවෙයි නුඹේ ප්‍රේමය කඳුළැල්                     අතර

නුඹගේ සෙනෙහෙ කොතරම් නම්              සවුමියද
ලෝ අන් යමක් ඒ වෙත සම කළ                  හැකිද
සිහිනෙන් පවා සිහිවෙයි ඔය ගුණ                    සුවඳ
නුඹෙ උණුහුමට ගුලි වෙන්නේ                    කවදාද

Saturday, 19 October 2013

නාවෙ කිම

හැමදාම හිරු නැගෙන මුල් පැයේ හිඳන්..
නුඹ ඒද මග බලමි නෙතු කැන් විදන්..
මුකුලිතව දැවෙන සිත පුබුදනු රිසින්..
නුඹ නාවෙ කිමද මම නොදනිමි ඉතින්..

අලු පාට හැන්දෑව ගෙවිලා ගොසින්..
ගොම්මනක අඬහැරය දස අත ඇවිත්..
නුඹ කොහිද යහතින්ද තැවෙනා සිතින්..
නිදි නොලැබ මුලු රැයම කරමී පහන්..

දෙනෙත රිදවා නැගෙන කඳුළැල් සෙමින්..
පිස දමමි මුලු ලොවට සැඟවී හොරෙන්..
වරද කිම මම කරපු රිදවන්න මෙලෙසින්..
පවසන්න හෝ එන්න අයැදිමි සොවින්.. 

Sunday, 13 October 2013

මුතු සිහින

හිත කොණක හිනාවෙන...
මුතු සිහින මල් අහුර...
කවුලු හැර බලන්නට...
පින් පුරයි හෑමදාම...

Thursday, 22 September 2011

නුඹ යළිත් මගේ ළඟ...

හමුවුනේ නුඹව මට
සසර දිග පුරුද්දටද...
හිත බැඳුනෙ නුඹ වෙතම
ඇසිල්ලෙන් ඒ නිසාද...
ළං වුනේ නුඹෙ හදට
අවංක ප්‍රේමෙන් නොවෙද...
බිඳී ගිය නමුත් පෙම
නුඹ යළිත් මගේ ළඟ...

ආදරෙයි ඉතින් මම
විශ්වයක් තරමකට...
ළඟ ඉන්න හැමදාම
දුක් දෙන්නෙ නෑ නුඹට...
නුඹ තුටින් සිටීමයි
සත්තකින් මගෙ සතුට...
ප්‍රෙමයෙන් බැඳෙමු අපි
යළිත් වෙන් නොවන්නට...

මතකද...?

මතකද ඒ හැන්දෑවේ
ප්‍රේමයේ සිසිල සෙනෙහස
විඳගත්ත අපූරුව...
උණුහුමට ළං කරන්
නුඹෙ ළැමට
ගෙවූ ඒ සොඳුරු දිනය
සත්තකින් සිහිනයක්...

Friday, 9 September 2011

සදාකල් නුඹ මගේ...!


හදවතේ පතුළටම
බැස ගත්තු බැල්ම රැඳි
ඔය රවුම් ඇස් මගේ......
සීතලම සීතලට
දෙතොල් මගෙ සිප ගත්ත
සිසිල් තොල් පෙති මගේ......
සීතලම රැයේදිත්
උණුහුමින් පිරී ගිය
සෙනෙහෙවන්ත ළැම මගේ.......
හිමි නැතත් මා නුඹට
මටම ආදරේ වෙන
සදාකල් නුඹ මගේ නුඹ මගේ..........!!

රිද්දන්න එපා හිත...

විශ්වයක් තරම් මට
ආදරේ වුනේ ඇයි..
රිදෙනවා මගේ හිත
පුංචීම දේකටත්..
කඳුළුනම් එපා මට
උහුලන්න බෑ ඉතින්..
නුඹ තමයි ජීවයම
රත්තරනෙ සත්තකින්..

රිද්දන්න එපා හිත
හඬනවා මං මුළු රෑම..
දැවෙනවා මං දිවා රෑ
හැරදමා නුඹ යාද..
අහිමි වී ගියෝතින්
දඟකාර ආදරය..
ලෝකයම සතු වුවද
මට එයින් පළක් නැත..

Friday, 22 July 2011

සමාවෙන්න මගෙ තාත්තෙ..

පුංචිම පුංචි දවස් වල
මම කරපු දඟකාරකම් වලට
කට කොණින් සිනා වී නුඹ
මගේ හිස අතගාපු හැටි
මතකයි මට මගෙ තාත්තෙ...
පාසල් ගොස් මා එනතුරු
මග බලාන සිටියෙ නුඹ
මගෙ ජයග්‍රහණ දැක
ආඩම්බරව හිනැහුණෙ නුඹ
මතකයි මගෙ තාත්තෙ...
හිතුවක්කාර යව්වනියට
අවවාද දුන්න මුත්
නොතකා ඇය ගිය ගමනෙදි
මාලිගා කඩන් වැටී ඈ හඬනකොට
දුක හිතුනිද නුඹට මගෙ තාත්තෙ...
නුඹ දුන්නු ඔවදන් වල අරුත
වැටහෙන්නෙ මට අදයි
හිතුවක්කාරියක ලෙස එදා
නුඹ වෙතට කඳුළු ගෙන්නුවට
සමාවෙන්න මට අද
මගෙ රත්තරන් තාත්තෙ...

Saturday, 16 July 2011

මගෙ සුදු අම්මේ...

දස මසක් මා නුඹේ කුස හොවා
බිහි කළා මා ලොවට...
ඇඟේ ලේ කිරි කර පොවා
මා ඇති දැඩි කළා නුඹ...
මා රැක ගත්තෙ නුඹ
ණුඹේ පණ දෙවැනි කොට...........
නුඹේ සෙනෙහස තරම්
අමිල උත්තරීතර සෙනෙහසක්
මේ මිහිපිටම නැත...
සීමා මායිම් නොමැත
නුඹෙ ඒ සෙනෙහසට...
මේ ලොවේ මා කොතැනක වූවද,
නුඹේ අත ගැටෙන මානයක,
නොසිටියද...
නුඹේ උත්තරීතර සෙනෙහස
රකියි මා යනෙන හැමතැනම
මගෙ ළඟම හිඳ...
ඉතින් මං ආදරෙයි
මගෙ සුදු අම්මේ නුඹට...

Monday, 4 July 2011

අවසරයි...

හිරු මිලිනව සඳු බැස ගොස්
ලොවම මගෙ අඳුරු වී
හිස් අහස් කුස මෙන්ම
මගේ ලොව හිස් වෙලා...
තිබුණු මගෙ ලෝකයට
ආවෙ නුඹ හිරු වෙලා
අවසරයි ළඟ ඉන්න
නුඹෙ ළඟින් මිය යන තුරා...

පායන්න හැමදාම
මගෙ ලොවට එළිය දී
නොයනු බැස කිසි දිනක
මා අඳුරෙ ගිල්ලවා...
ළඟින් ඉන්නට නැතත්
නුඹෙ හුස්ම පොද වෙලා
සිතින් මම නුඹ ළඟයි
දෙනෙත් පියවෙන තුරා...

Sunday, 3 July 2011

සංසාරෙ පුරාවට.....

ඇඟ හිරි ගඩු පිපෙන
සීතලම රාත්‍රියක
පපුතුරට නුඹෙ හිස තියන්
ගී පද වැල් මුමුණන්නට....
උණුසුමට නුඹෙ ගුලි වී ගෙන
පුංචි ළදැරියක ලෙස
ආදරයේ බොළඳ වදන්
සිහින් සරින් මුමුණන්නට....
නුඹේ ඇසිපිය වැටෙන
පුංචිම පුංචි නිමේශෙක
සිහින් සිනිඳු හාද්දක්
ඔය කොපුල් මත තියන්නට....
එනතුරාම දවසක්
ඇඟිළි ගනිමින් හිඳින්නද මං
සංසාරෙ පුරාවට.....

Friday, 1 July 2011

සිකුරු තරුව නුඹ...

පුරා සඳ ළඟම...
සඳේ තනියට ළඟින් ඉන්නා
සිකුරු තරුව නුඹ...
නොයන් නුඹ දුර ඈත...
හිඳින්න සඳ ළඟම
දිලිසි දිලිසී හැම රෑම...
සඳට පෙනෙන මානයේම....