Sunday 24 November 2013

ජීවිතය නැවතුනා

වස්සාන මල් පිපුණු
නිල් පාට අහස යට
මං මවපු හීන පොදි
සුණු වී ගියා...

හිරු ගිලුණු අතීතෙක,
මං පතපු අනාගත පැතුම්
මිලින වී නෙතු ඉමේ
මියැදී ගියා...

සෙනෙහසේ සුව සොයා
ඉගිල ගිය දෑත් තටු
රිදී රිදී වියපත්ව
එක්තැන්ව ගොලුවුනා...

කඳුළක්ද සුසුමක්ද
ජීවිතය මායාවක්ද
හති වැටී මිරිඟුවේ
මම ඔහේ නැවතුනා...

Thursday 21 November 2013

වහිනවෝ...

මම ඉතින් ඉන්නෙ මැදපෙරදිගනෙ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වල. ලංකාවෙ සබරගමු පළාතට නිතරම වහිනව උනාට මෙහෙට වහින්නෙ අවුරුද්දකට දවසයි දෙකයි. මම ලංකාවෙ සබරගමු පළාතෙ හින්දා වැස්ස එපා වෙලානෙ ඉතින් ඉන්නෙ. ඒ වුනාට සෙල්සියස් අංශක පනහටත් වඩා උෂ්ණත්වය ඉහළ නගින කොට අනේ වහිනවනම් කියලා හිතෙනවා. ලංකාවෙ ඉද්දි වැස්ස එපා වුනාට වැස්සෙ තෙමෙන්නත් හරි ආසයි. පොඩි කාළෙ වැස්සෙ මඩ වලවල් වල උඩ පැනපු හැටි මට ඔන්න අදත් මතක් වුනා.

අද අපිට වහිනවා. තෙමෙන්න විදියක්නම් නෑ ඉතින් වැඩ කරන්න එපායැ.අපිට මේ වහින්නෙ පහුවුනු පෙබරවාරි වල වැස්සට පස්සෙ විතර. සතියක් තිස්සෙ නිව්ස් වලට කියනවා අද වහිනවා හෙට වහිනවා කියලා. ඊයෙ නිව්ස් වලට කිව්වලු සිකුරාදා තමයි ඩුබායි වලට වහින්නෙ කියලා. ඒත් අනේ මංදා ඔන්න අද උදේ ඉඳන් වහිනවා. මෙහෙට වැහැපුවම ඉතින් සදා අනාතයි. වැඩිය වහින්නෙ නැති රටවල්  නිසා වතුර බහින විදියට පොළොව හදලා නෑනෙ. පොඩ්ඩක් වැස්සත් වතුර පිරිලා පිටාර ගලනවා. පාරවල් යට වෙනවා. මේ රටවල් කාන්තාර නිසා ඉස්සරනම් වහින්නෙම නැතිලු. ඒත් දැන් ටිකක් වෙනස්. මොකද රටවල් ජනාකීර්ණ වෙලා වටපිටේ ලස්සන කරන්න දැන් ගොඩක් ගස් වැල් වවලනෙ. ඒක නිසා දැන් ඉස්සරට වඩා වහිනවලු. ඒ හින්දා දැන් ගස් වැල් වවන එක සීමා කරලා. ගොඩක් උස යන විශාල ගස් එහෙම වවන්නත් තහනම්ලු. පැය දෙක තුනක් එක දිගට වැස්සොත් පාරවල්, ෂොපින් මෝල් වල එහෙම වතුර පිරෙනවනෙ. ඒ කාලෙට ඒවයෙ බඩු මුට්ටු පීනනව එහෙම දැක බලාගන්න පුලුවනි.

මේ අවුරුද්දෙනම් තාම වහින්න හිතුවා විතරයි. දෙසැම්බර් වල එහෙම තමයි වැඩියෙන් වහින්නෙ. වැහැලා නන්නත්තාර වෙච්චි පින්තූර ටිකකුත් බලන්නකො.






                                       පොඩි එවුන්ට නම් වැහැපුවම අවුරුදු. අපි වගේමයි. ;)




මේ පින්තූර නම් මේ අවුරුද්දෙ ඒව නෙමෙයි.

අන්න පෝස්ටුව ලියලා ඉවර වෙන්නත් කලින් වැස්ස පායල අව්වත් වැටිලා.. :(

Thursday 14 November 2013

අනේ මංදා..

පාලුවේ බෑ. හරියට නිකං කාන්තාරෙක තනිවෙලා වගේ. කරන්න වැඩකුත් නැතුවම නෙමෙයි. එව්වා කරන්නත් කම්මැලී. මොනවා වෙලාද මන්දා. ළඟ පාතක මිනිස් පුළුටක් නෑ වගේ දැනුනට ඕනි තරම් මිනිස්සුත් ඉන්නවා. සාංකාව වගේ හිතටත්. ඇයි මේ...? ඔයා ළඟ නැති නිසාද? අනේ මංදා.. මෙහෙමත් අවනඩුවක්... !!!

හිත පුරා දැනෙන තනිකම නිසා
ළය පුරා නැගෙන සුසුමන් වසා
නෙතු පුරා උනන කඳුළැල් දරා
හිඳිමි මම නුඹ ඒද මග බලා


Monday 4 November 2013

මඩොල් දූව යළි කියවීමි.


පහුගිය සාහිත්‍ය මාසෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබුණු පොත් ප්‍රදර්ශනයෙදි කියවීමට කැමතිම පොත සහ කියැවූ පොත් අතරින් මතකයේ රැදුණු පොත ගැන කරපු සමීක්ෂණයකින් වැඩිම පාඨක පිරිසකගෙ කැමතිම පොත බවට පත්වෙලා තියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ ' මඩොල් දූව ' නව කතාවලු කියලා පත්තරේක තිබුණු ආර්ටිකල් එකක දැක්කා. අවුරුදු දහයකට දොළහකට ඉස්සර මාත් ' මඩොල් දූව ' කියෙව්වනෙ. කතාව උඩින් පල්ලෙන් මතක තිබුණට මට ආයෙත් ඒක කියවන්න ආස හිතුණා. පොත් කියවන්නත් ඉතින් පොඩි කාළෙ ඉදන් ලොකු පිස්සුවකුත් තියනවනෙ.

ඉන්නෙ ලංකාවෙ නෙමෙයි හින්දා කඩෙන් පොත් ගන්න බැරි එකේ හැමදේටම හොඳම යාලුවා වෙච්චි ' ඉන්ටනෙට් ' එකෙන්ම පොත හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්තා.  ( ලැප් එකෙයි, පෝන් එකෙයි පොත් කියවලා දැන් ඇස් දෙකට මොකද්දෝ වෙලත් එක්ක.. )

http://www.mediafire.com/download/gtgq6ptty742xaz/Madol+Duwa.pdf

ඔන්න ඕනි කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක්..

ඉතින් ' මඩොල් දූව ' කියවන්න ගත්තා. කියවගෙන යනවා මිසක් කන්නවත් සිහියක් තිබුණෙ නෑ. හොඳ පොතක් හම්බවුණාම ඒක සාමාන්‍යයිනෙ. හැමදාම වගේ මෙලෝ සිහියක් නැතුව කියෝනවා කියලා බැණුම් තොගේකුත් අහගන්න ගමන් ඉතින් පොත කියෙව්වා. ඉස්කෝලෙ යන කාලෙනෙ කලින් ' මඩොල් දූව ' කියෙව්වෙ. ඒ දවස් වලට වඩා දැන් පොතක රසය දැනෙනවනෙ.

උපාලි ගිනිවැල්ලෙ.. කොයි තරම් ලස්සන, අර්ථවත් චරිතයක්ද..? මහ පොළවෙ පය ගහලා ජීවත් වුණු සැබෑ චරිතයක්. පොත කියවගෙන යද්දි මට මමත් ජීවමානව ඒ කතාවෙ කොණක ඉන්නවා කියලා දැනුණා. ගිනිවැල්ලෙගෙ  වගේ ගම පුරාම දඟ කරපු, බැණුම් අහපු, ගුටි කාපු සුන්දරම ළමා කාලයක් මටත් තිබුණා ආයෙත් නොඑන. :(
අධිෂ්ඨානය, නිර්භීත කම, උත්සාහය නිසා ගම පුරාම නරක ළමයෙක් විදියට හංවඩු ගැහුනු ගිනිවැල්ලෙ, එයාගෙ ජීවිතේ ලස්සනට ජයගන්නවා.

මේ වගේ ලස්සන, වැඩකට ඇති නවකතා ලියන්න දැන් ලේඛකයො නැති එක ගැන හරි දුකයි. තැනේ හැටියට ඇණේ ගහනවා වගේ දැන් වැඩියක්ම ලියන මිනිස්සු ලියන්නෙ තමන්ගෙ වාසිය තකාගෙන මිසක්, සමාජෙට යමක් දෙන බලාපොරොත්තුවෙන් නෙමෙයි. බොළඳ නවකතා පොත් සාප්පු පුරෝල තියෙන්නෙ ඒකයි.

පහ වසරෙදිද කොහෙද කොග්ගල තියන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ කෞතුකාගාරය බලන්න ගියා මතකයි. ලංකාවට ගියපු දවසක ආයෙත් වතාවක් යන්න බලාපොරොත්තුවකුත් හිතට එකතු වුනා.

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයෙගෙ තව පොත් හොයන්න කියලා ඉන්ටනෙට් එකම පීරුව. ඒත් වෙන  ebooks  මොකුත් හොයාගන්න බැරි වුනා. මේක කියවන කෙනෙක් ඒ පොත් ඉන්ටනෙට් එකෙන් ගන්න පුලුවන් විදියක් දන්නවනම් ලින්ක්ස් දීලා යන්න කියලත් පොඩි ඉල්ලීමක් කරනව.

Thursday 31 October 2013

~~~ නුඹට ~~~

සහස් තරු කැට 
දිලෙන අහසක,
පුර හඳක් ලෙස
නුඹ දිලීයන්...
එපුර හඳ මැද
පුංචි සාවිය
ලෙසම ළඟ හිඳ
නුඹ රකින්නම්...

සිත් සතන් සැම
නිවා සනහන,
මියුරු ගීයක් 
නුඹ ගයාපන්...
එසිත් පිනවන
ගීය නළවන
මධුර මනෝහර
තනුව වෙන්නම්...

උතුම් දයාබර
නුඹේ මුදු පෙම,
මටම පමණක්
සින්න කරපන්...
එපෙම් රුවනට
වැඩිය සෙනෙහෙන්
සසර වසන තුරු
ළඟ හිදින්නම්...

අඩි උස ( high heels )

ඩි උස සපත්තු දැම්මම ලස්සනයි, හැඩයි තමයි. ඒක ඉතින් මොඩර්න් ලෝකෙ ස්ටයිල් එකක්නෙ. ඒ වුනාට සමහරු උස කියන එකෙත් උපරිම උස සපත්තුනෙ දාන්නෙ. මෙන්න මේ වගේ...  :O
 දාගෙන ඇවිදගන්නත් බැරි, හදිස්සියකට දුවාගන්නවත් බැරි,  සපත්තු දාන අයත් ඉන්නවනෙ. හැබැයි ඉතින් ඔය අඩි උස සපත්තු ශරීර සෞඛ්‍යයට නම් එච්චර හොඳ නෑ.. ඒකත් ඉතින් කවුරුත් නොදන්න දේකුත් නෙමෙයිනෙ. දැන දැනත් ඔව්වා දාන හේතුවනම් මොකද්ද කියලා මන්දා. කාලයේ තාලයට හැඩ ගැහෙන්න වෙන්න ඇති.  මොන දේකින් බැලුවත් දැන් මේ විපරීත ලෝකෙ වෙන්නෙ කාලයේ තාලයට හැඩ ගැහෙන්න ගිහින් මිනිස්සු ලෙඩ වෙන එක, ආයුෂ කෙටි වෙන එක තමා.

චීනෙ විද්‍යාඥයො පිරිසක් ළඟකදි කාන්තාවන් සහ හයි හීල්ස් යොදාගෙන පර්යේෂණයක් කරලා. ඒකෙන් හෙළිවෙලා තියන විදියට උස අඩි පාවහන් පාවිච්චි කරන අයට දණහිස් අමාරු, කොන්දෙ අමාරු හැදෙනවා වැඩිලු. අඩි උස සපත්තු දාගෙන බස් වලට දුවන කාන්තාවන්ට එහෙම මේ තත්වය ගොඩක් බරපතලයිලු. ඒ වගේ අයට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳෙන අවදානමත් වැඩියි කියල තමයි එයාල කියන්නෙ. සපත්තු වල උස වැඩි වෙන්න වෙන්න මේ අවදානම් තත්වය  වැඩි වෙනව කියලත් එයාල හොයාගෙන තියනව.


යි අප්පා තව අවුරුද්දක් දෙකක් යහතින් ජීවත් වෙන්න තියන ජීවිතේ, මේ පාට පාට කූරු උඩ නැගල අවුල් කරගන්නෙ?  සුදුසු නුසුදුසු තැන්, වෙලාව අවේලාව එහෙම බලලා වත් ඕව පාවිච්චි කරනවනම් කකුල් අමාරු කොන්දෙ අමාරු වලින් හරි ටිකක් බේරිලා ඉන්න පුලුවන් වෙයි.


Monday 28 October 2013

පෙම්බර මව්නි...

දස මසක්ම නුඹ කුස තුළ මා                      හෙව්වා
බිහි කර ලොවට මා ආදරයෙන්                   හැදුවා
රුධිරය නුඹේ කිරි කොට මා හට                 පෙව්වා
පෙම්බර මව්නි නුඹ හට මහිමය                  වෙම්වා

පින්බර නුඹේ මුදු සෙනෙහස                    සිහිලැල්
සිහිවෙන විටදි නෙතගට මතු වෙයි            කඳුළැල්
උණුසුම සොයාගෙන මව් උකුලේ              සුරතල්
එන්නට හිතයි එක පිම්මට සේ                  පවනැල්

හිත් පිත් නොමැති මිනිසුන් මා වට                   කර
වියරු ලෙසින් හැසිරෙයි ලෙස රුදු                 කතර
නපුරුයි අම්මෙ දරුණුයි මේ වැලි                   කතර
සිහිවෙයි නුඹේ ප්‍රේමය කඳුළැල්                     අතර

නුඹගේ සෙනෙහෙ කොතරම් නම්              සවුමියද
ලෝ අන් යමක් ඒ වෙත සම කළ                  හැකිද
සිහිනෙන් පවා සිහිවෙයි ඔය ගුණ                    සුවඳ
නුඹෙ උණුහුමට ගුලි වෙන්නේ                    කවදාද

Saturday 19 October 2013

කන්දක් නගින්න අමාරු තරමටම බහින්න ලේසියි


මනල කන්ද කොයි තරම් උසද? හරි ආසාවෙන් සිරී පාදෙ නගින්න ගියාට කන්ද දැක්කම අපි බය වෙනවා. ඈතදි කන්දෙ ලයිට්ස් දැක්කම හරි ආසයි. ඒත් නගින්න ගත්තම ලේසි නෑ. මුලදි ආසාවෙන් නගින්න ගත්තට මගදි හති වැටෙනවා. හැම පඩියක්ම නගින්න ඕනි අපේම කකුල් දෙකෙන්නෙ. තමන්ගෙම මහන්සියෙන්, තමන්ගෙම ශක්තියෙන්. වෙන කාගෙ හරි අතක එල්ලිලා ඒ වාරුවෙන් ටික දුරක් නගින්න පුලුවන් වෙයි. හැබැයි ඒක දිගටම කරන්නත් බෑනෙ. ඒ අයත් මගදි හති වැටිලා අපිව අතෑරලා දමාවි. ඉතින් හිමීට හිමීට නගින්නයි තියෙන්නෙ. පඩියෙන් පඩිය මහන්සි වැඩියි තමයි. ඒත් නගින්න ඕනි.

හගිරි දඹේ නගින එකනම් හරිම අමාරුයි. පඩියෙන් පඩිය බොඩි එකේ බරත් වැඩි වෙනවා වගේ. මෙච්චර දුර නැගලත් ආපහු බහින්නමයි හිතෙන්නෙ. අනේ... දැන්නම් මලුවත් පේනවා. ඝාන්ඨාර සද්දෙත් දැන්නම් හොඳටම ඇහෙනවා. ඒත් කකුල් රිදෙනවා. මහන්සියි. බොඩි එකේ තිබුණු එනර්ජි වල පවර් එක දැන් නෑ. මෙච්චර වෙලා නැගපු පඩි වලට ඒ පවර් එක යෙදෙව්වනෙ. බහින්නමයි හිත. ඒත් මෙච්චර නැගල ආපහු බහින එක මොන මෝඩ කමක්ද සිරි පතුල නොබලා..? හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ. ඉතිරි පොඩ්ඩත් කොහොම හරි නගිමු. හැමදාම ශ්‍රී පාදෙ වදින්න බෑනෙ. ලබා ගත්තු අවස්ථාව මග ඇරගන්න හොඳ නෑ.

ලුවට ආවම කොයි තරම් හිතට සැනසීමයිද? සිරි පතුල වැන්දා. සමන් දෙවියො, දොළොස් මහේ පහන දැක බලා ගත්තා. පාන්දර සූරිය උදාව මොන තරම් ලස්සනද? පුදුමයි..! පඩි දාස් ගාණක් නැගල බොඩි එකට දැනුනු තෙහෙට්ටුව කොහේ ගියාද නෑ. හිත නිස්කලංකයි. සැනසීමයි.  නගින්න අමාරුයි කියලා මගදි ආපහු බැස්සනම් මේ කිසිම ප්‍රතිලාභයක් නෑනෙ. මේ සැනසීම නෑනෙ. දැන් ඉතින් පහළට බහින එකත් වැඩක්ද..?
කන්දක් නගින්න අමාරු තරමටම බහින්න ලේසියිනෙ.

රියට අපේ ජීවිත වල වගේ. පහසුයි කියලා යම් යම් දේවල් ආසාවෙන් පටන් ගත්තට හිතන තරම් ලේසි නෑ. හැබැයි අමාරුයි කියලා තමන්ගෙ ඉලක්කයට යන ගමන මගදි අතහැරල දැම්මොත් කවදාවත් ජයග්‍රහණයක් නෑ. සැනසීමක් නෑ. නිදහසක් නෑ. ලස්සනක් නෑ. අද ජීවිතේ අමාරු තරමටම ඉදිරිය ලස්සනයි. හරියට නගින්න අමාරුවට තිබුණු සමනල කන්ද, නැග්ගට පස්සෙ උඩමලුව වගේ.

වගේම දිනුම දැක දැක තමයි වැඩියක්ම පසු බාන්න හිතෙන්නෙ. මොකද ඒ හරිය තමයි අමාරුම. හරියට මහගිරි දඹේ වගේ. ඒත් ඉලක්කය අත් නොහැර එල්ලිලාම හිටියොත් ජයග්‍රහණය තමන්ගෙමයි. වෙන කාගෙවත් නෙවෙයි. හරියට උඩ මලුවට නැග්ගම ඒ පුදුම සුන්දරත්වය දැකගන්නෙ තමන්ගෙම ඇස් වලින් වගේ. සිරි පතුල වැඳගන්නෙ තමන්ම වගේ............

නාවෙ කිම

හැමදාම හිරු නැගෙන මුල් පැයේ හිඳන්..
නුඹ ඒද මග බලමි නෙතු කැන් විදන්..
මුකුලිතව දැවෙන සිත පුබුදනු රිසින්..
නුඹ නාවෙ කිමද මම නොදනිමි ඉතින්..

අලු පාට හැන්දෑව ගෙවිලා ගොසින්..
ගොම්මනක අඬහැරය දස අත ඇවිත්..
නුඹ කොහිද යහතින්ද තැවෙනා සිතින්..
නිදි නොලැබ මුලු රැයම කරමී පහන්..

දෙනෙත රිදවා නැගෙන කඳුළැල් සෙමින්..
පිස දමමි මුලු ලොවට සැඟවී හොරෙන්..
වරද කිම මම කරපු රිදවන්න මෙලෙසින්..
පවසන්න හෝ එන්න අයැදිමි සොවින්.. 

Tuesday 15 October 2013

ඇස පිනවන දසුන්

මේ ලෝකය හරිම අමුතු තැනක්. ලස්සන, අවලස්සන හැමදේම නොඅඩුව තියන තැනක්. ඒ අතරින් අපේ ඇස් කවදත් කැමතියි ලස්සන දේ දකින්න. කෘතිම දේ වලට වඩා හැමදාමත් ලස්සන ස්වභාවික දේවල්. මිනිස්සු විසින් නිර්මාණය කළා වුනත් ස්වාභාවික පෙනුමක් තියනකොට ඒවා හරිම ලස්සනයි.මල් කියන්නෙත් කොයි තරම් ලස්සන දෙයක්ද... මේ තියෙන්නෙත් ඒ වගේ ලෝකෙ තියන පුදුම ලස්සන ස්ථාන කීපයක්..

චෙරි බ්ලොසම් ස්ට්‍රීට්, ජර්මනිය



බම්බූ ෆොරස්ට්, ජපානය



විස්ටෙරියා ෆ්ලවර් ටනල්, ජපානය



බ්ලැක් ෆොරස්ට්, ජර්මනිය



ලැවෙන්ඩර් ෆීල්ඩ්ස්, ප්‍රංශය


හිටාචි සී සයිඩ් පාර්ක්, ජපානය



ෆ්ලවර් ගාර්ඩ්න්, හෝලන්ඩ්


Sunday 13 October 2013

මුතු සිහින

හිත කොණක හිනාවෙන...
මුතු සිහින මල් අහුර...
කවුලු හැර බලන්නට...
පින් පුරයි හෑමදාම...

THE WEDDING ALBUM

                                                    THE WEDDING ALBUM

අවිශ්ක කබඩයේ වූ ලට්ට ලොට්ට සියල්ල ඉවතට ඇද කොණක සිට අස් කරන්නට විය. චිත්‍රාගාරය ඇරැඹූ දිනයේ පටන් මේවා අස් පස් කරන්නට ඔහුට ඉඩක් ලැබුණේ ම නැත. චිත්‍රාගාරය ආරම්භ කොට වසරක් පිරෙන්නේ හෙටට ය. හෙට දින පුංචි සැමරුමක් කිරීමේ බලාපොරොත්තුවෙන් අවිශ්ක චිත්‍රාගාරය අස් පස් කොට පිළිවෙළක් කිරීමට සිතුවේ ය. 

කුඩා කළ පටන් ඡායාරූප ශිල්පියෙක් වීමට සිහින දුටු අවිශ්ක පාසල් අධ්‍යාපනය නිමවූ සැණින් දැඩි උත්සාහයෙන් යුතුව ඡායාරූප ශිල්පය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවේ ය. අනතුරුව හෙතෙම නගරයේ කුඩා කඩ කාමරයක් කුලියට රැගෙන " AVISHKA STUDIO " හි ආරම්භය සනිටුහන් කළේ බොහෝ හැඟීම්, බලාපොරොත්තු පෙරදැරිව ය. ගෙවුණු අවුරුද්දක කාලය පිළිබඳව අද ඔහු සිටින්නේ  සැබැවින්ම ආඩම්බරයෙනි. ඒ වසර ඇතුළත තමන් විශාල සාර්ථකත්වයක් ලැබූ බව අවිශ්ක සිහිපත් කළේ උද්දාමයෙනි. 
කබඩය තුළ තිබී ඔහුට දුඹුරු පැහැ පෙට්ටියක් හමුවිය. එය ඇල්බමයක් බහාලූ පෙට්ටියකි. කබඩය තුළම තිබීම නිසා එමත බැඳී තිබූ දූවිලි තට්ටුව රෙදි කැබැල්ලෙන් පිස දැමූ අවිශ්ක එය විවෘත කළේය. 

" The Story of
         Kasun & Shakila "

විවෘත කළ පෙට්ටිය තුළ තිබූ ඇල්බමයෙහි පිට කවරයේ සඳහන්ව තිබිණි. එය මංගල උත්සවයක පින්තූර ඇල්බමයකි. ඇතුළත වූ පින්තූර දකින්නටත් ප්‍රථම අවිශ්ක ඒ ඇල්බමය හැඳින්නේ ය. ඔහු සිය චිත්‍රාගාරය ආරම්භ කොට පළමුවෙන්ම ඡායාරූප ගත කරන්නට ලැබුණු මංගල උත්සවයේ පින්තූර ඇල්බමය එයයි. ඒ මංගල උත්සවයට වසරක් පිරෙන්නට ළඟ නොවේදැයි අවිශ්ක සිහි කළේ තම චිත්‍රාගාරය ආරම්භ කොට හෙටට වසරක් පිරෙන බව මතකයට නගා ගනිමිනි. මෙතුවක් කල් ඇල්බමය රැගෙන යන්නට කිසිවෙකු නොපැමිණියේ මන්දැයි සිතමින් අවිශ්ක එහි පිටු පෙරලන්නට විය. මුදල් හිඟ පාඩුවක් වත් වූවා වන්නට බැරිද? එහෙත් කසුන් පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කළ අයෙකු බව ඔහුට මතකය.

මේ විවාහ උත්සවයේ ඇල්බමය සකස් කිරීමේ කාර්යය අවිශ්ක බාරගත්තේ බොහෝ සතුටින් බව ඔහුට මතකය. එවැනි කාර්‍යක් ඔහුට ලැබුණු ප්‍රථම අවස්ථාව වූ නිසා ඔහු ඒ සඳහා මිළ ගණන් කීවේද අඩුවෙනි. මනාලයා වූ කසුන් අත්තිකාරම් මුදලක් වශයෙන් ඒ කිවූ මුදලින් අඩක් ගෙවූ වගද ඉතිරිය පසුව ගෙවන බව කීවාද ඔහුට මතකය. කසුන් මිත්‍රශීලී අයෙකු ද විය. පිටුවෙන් පිටුව පෙරලමින් මංගල උත්සවයේ ඡායාරූප වල හැඩ බලන්නට වූ අවිශ්කට සියුම් ආඩම්බරයක් ද දැනෙන්නට විය. ඒ පින්තූර සියල්ල සිය හැකියාව උපයෝගී කොට ගනිමින් ඔහුගේ කුඩා කැමරාවේ සටහන් කොටගත් සහ ඔහු විසින්ම පරිගණකය ආධාරයෙන් ඔප් නැංවූ පින්තූර වේ. මේ ඔහුට ඡායාරූප ගත කරන්නට ලැබුණු ප්‍රථම මංගල උත්සව අවස්ථාව වූ නිසාත් ඒ තරුණ යුවලගේ සුන්දර බව නිසාත් ඔවුන්ගෙන් අවසරය ලබාගෙන අවිශ්ක එම යුවලගේ විශාල කරන ලද පින්තූරයක් ඔහුගේ සාප්පුවේ බිත්තියකද එල්ලුවේ ය. එය තවමත් එතැන එල්ලී තිබේ. 

ඇල්බමය සෑදීමේ වැඩ කටයුතු වලට ඔහුට එතරම් දිනක් ගත නොවුණු වග මතක ය. හැමදාමත් තමන්ට පැවරෙන කාරිය කැපවීමෙන්, උනන්දුවෙන් සහ ඉක්මණින් කිරීමේ ගුණාංගය අවිශ්කට පිහිටා තිබුණේ උත්පත්තියෙන්ම යැයි කීවොත් නිවැරදි ය. මේ වන විටනම් ඔහු තරමක් කාර්යබහුල වෘත්තිකයෙකු වී සිටින නිසා මෙවැනි කාර්යයක් කිරීමේදී පෙරට වඩා දින ගණනක් ගත වෙයි. නමුදු එදවස ඔහු වෙත එවන් තත්වයක් නොතිබුණ නිසා ' කසුන් සහ ශකිලා ' යුවලගේ ඇල්බමයේ වැඩ කටයුතු නිම කිරීමට ඔහුට ගත වූයේ ඉතා ස්වල්ප දිනකි. අනතුරුව යුවල ලබාදුන් දුරකතන අංකයට කිසිඳු ප්‍රමාදයකින් තොරව ඇමතුමක් ලබාදුන් අවිශ්ක ඇල්බමයේ නිමැවුම පිළිබඳව ඔවුන් දැනුවත් කළේ ඉහ වහා ගිය සතුටිනි. හැකි විගසින් මුදල් ඉතිරිය ගෙවා පින්තූර පොත ගෙන යන්නට පැමිණෙන වග එහා ඉමෙන් කතා කළ කසුන් කී නමුදු අද වන තුරු කිසිවෙකු නාවේය.  පින්තූර පොත නව යුවලට භාර දී ඔවුන්ගේ පැසසුමක්, සිත සතුටින් පිරෙන්නට වචනයක් හෝ අඩු තරමේ  ඇගයීමක් නැතහොත් මොනයම්ම හෝ ප්‍රතිචාරයක් ලබන්නට බලාපොරොත්තුවෙන් මග බලාගෙන සිටි අවිශ්කට මෙම ඇල්බමය පිළිබඳ සම්පූර්ණයෙන් අමතකව ගියේ දිනෙන් දින හෙමි හෙමින් කාර්යබහුල වූ නිසාය. 

පින්තූර සියල්ලම බලා පින්තූර පොත ආපසු සුරක්ෂිතව එයටම හිමි සුරුවම් පෙට්ටිය තුළින් තැබූ අවිශ්ක නැවතත් රෙදි කැබැල්ලෙන් එය පිස දමමින් කල්පනා කරන්නට වූයේ ඇල්බමය රැගෙන යන්නට කිසිවෙකු නොපැමිණීම පිළිබඳවය. ඊළඟට ඔහු යමක් සිහි වී පාරිභෝගිකයන්ගේ දුරකතන අංක ලියාගන්නට භවිතා කළ CR පොත දිග හැරියේය. සියල්ල සකසුරුවම්ව කරන පුරුද්ද නිසා එහි මුල්ම පිටුවෙන්ම ඔහුට අවශ්‍ය දුරකතන අංකය සොයා ගැනීමට ඔහුට හැකිවිය. සොයාගැනීමේ පහසුව තකා ඔහු එම දුරකතන අංකය නම්කොට තිබුණේ 'kasun shakila wedding album' යනුවෙනි.

" ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත "

සොයාගත් අංකය අංකනය කොට දුරකතනය කණට තබාගන්නටත් පෙර අවිශ්කට ඇසුනි. යළිත් වරක්  අංකනය කලද සිදුවූයේ එයමය. දැන් කුමක් කළ යුතුද? ඔහු සිතන්නට වන. 

කසුන් සහ ශකිලා යුවලගේ විවාහ මංගල උත්සවය අවිශ්කට සිහිවිය. ඔවුන් දෙදෙනා බොහෝ සොඳුරු ලෙස ගැලපෙන යුවලකැයි ඔහුට එදින සිතිණ. මනාලියගේ නිවසේ මංගල්‍යය පැවැත්වුණු දිනයේ හත්මුතු පරම්පරාවම මඟුලට පැමිණ ඇතැයි  අවිශ්කට සිතුනේ පැමිණ සිටි නානාවිද ඇඳුමින් සැරසුණු සෙනඟ නිසාය. ඔවුන් සියල්ලන්ගේ මුහුණු වල සොඳුරු සිනහවක් ඇඳී තිබුණු වග ඔහුට මතකය. පහතරට ක්‍රමයට සැරසී සිටි හුරුබුහුටි මනාලියක් වූ ශකිලාගේ දෙතොල මතද සුන්දරතම සිනහවක් සිත්තම් වී තිබිණි. කසුන් වෙතින්ද දිස් වූයේ මනා කඩවසම් බවකි. මංගල උත්සවයේ කැමරාකාරයා වූ තමන් සමඟ ඔවුන් දෙදෙනාම කුළුපග වූයේ ඔවුන් දෙදෙනාම සොඳුරු සිතිවිලිවලින් හෙබි අය නිසා වන්නට ඇතැයි අවිශ්ක සිතුවේ ය. 

දෙදෙනාගේ ආදර අන්දරයට වසර හතරක් සම්පූර්ණ වග ශකිලා කීවේ ආඩම්බරය මුසු ලජ්ජාවකිනි. මේ දිනය පැමිණෙන තෙක් බොහෝ කල් පෙරුම් පිරූ බවද ඔවුන් දෙදෙනාම කීහ. නිරන්තරවම සිනාසෙමින්, විහිළු කරමින් සිටි දෙදෙනා මනාව ගැළපෙන බව අවිශ්ක සිතුවේය. ඉමක් කොණක් නොමැතිව දෝරෙ ගලායන සතුටකින්  යුතුව සිටි නව යුවලගේ ඇඟිලි තුඩු මංගල උත්සවය පුරාවටම පටලැවී තිබිණි. ප්‍රේමය බොහෝ සුන්දරයැයි අවිශ්කට සිතිණ. ආදරයක්, විවාහයක් කෙදිනක හෝ තම ජීවිතයේත් සිදුවන්නේ නම් තමනුත් කවුරුන් හෝ වන ඇයත් මෙවැනි සුන්දර යුවලක් වේවායි ඔහු සිතින් පැතුවේය. එදා එලෙස යුග දිවියට පිවිසි ඔවුන් අද වනතුරු ඔවුන්ගේ සුන්දරතම දිනයේ මතක සැමරුම් එක්තැන් වුණු ' The Story of Kasun & Shakilaa ' රැගෙන යන්නට නොපැමිණීම අවිශ්කට පුදුමයට කරුණකි.

තව තවත් සිතිවිලි සමඟ පියාසර නොකළ අවිශ්ක ඇල්බමය සහිත පෙට්ටිය ඔහුගේ සාප්පුවේ නම මුද්‍රිත බෑගයක රුවා ගත්තේය.

" අද වේලසන යන්න වගේ... "

චිත්‍රාගාරය වසා යතුරුපැදිය අසළට පැමිණි අවිශ්කගෙන් විමසුවේ අසළ වූ විසිතුරු බඩු කඩයේ සිටි මිතුරෙකි.

" ඔව් ගයාන්.. මේ පොඩි වැඩකටත් යන්න තියනවා.... ඒකයි. "

" ආහ්.. හරි මචන්.. " 

" එහෙනම් හෙට පොඩ්ඩක් ඔලුව දාපන් කිරිබත් කෑල්ලක් කන්න.. ඕකේ... "

හිස්වැසුම පැළඳගෙන යතුරුපැදියට ගොඩවන අතරවාරයේ අවිශ්ක කීවේ හෙට දින පිළිබඳව මිතුරාට යළි සිහි ගන්වමිනි. 

දෙවැනි දින හෝම් කමින් සාදය පැවැත්වුණේ කසුන්ගේ නිවසේ බව අවිශ්කට මතක තිබේ. එය පිහිටියේ මහා ලොකු දුරක නොවේ. නිවස සොයාගැනීමට අවිශ්කට කිසිසේත් ම අපහසු වූයේ නැත. 

"මේ ගේ මම කාලෙක ඉඳන් දැකපු හීනයක් මචන්.. ජොබ් එක හම්බවුණ දවසෙ ඉඳල මං කරේ මේ ගේ හදපු එක. ඒත් අදින් පස්සෙ තමයි මේ ගේ ගෙයක් වෙන්නෙ."

නවීන පන්නයට සාදන ලද එතරම් විශාල නොවූ මනරම් නිවස කසුන් විසින් ඉදිකරන ලද්දේ තමන් දෙදෙනා උදෙසාම බව කසුන් මංගල දිනයේදී කියූ ආකාරය අවිශ්කට සිහි විණි. සුන්දර ගෙවත්ත පෙනෙන මානයේ යතුරුපැදිය නැවත්වූ ඔහු බෑගය ද රැගෙන නිවස දෙසට පිය මනින්නට විය. යම්කිසි හෙයකින් ඔවුන් කිසියම් ප්‍රශ්නයකට මුහුණ පා මුදල් හිඟ පාඩුවක ගැලී සිටිනවානම් මුදල් නොගෙන ඇල්බමය බාරදීමට ඉටා ගනිමින්  ඔහු නිවසේ සීනුව නාද කළේය.

" කාව හම්බවෙන්නද..? "

අඩක් විවෘත වූ දොරටුවෙන් හිස පෙවූ මැදිවියේ කාන්තාවක් විමසුවා ය.

" මිස්ට කසුන් ඉන්නවද..? "

" මෙහෙ නෑ.. " 

කාන්තාව එකවරම කියා දැමූ ආකාරයට අවිශ්ක පුදුම විය.

" එහෙනම් ශකිලා..? කසුන්ගෙ වයිෆ්..? "

" ඒගොල්ලො කවුරුත් දැන් මෙහෙ නෑ.. ගේ අපිට විකුණලා තියෙන්නෙ. "

" අහ්.. එහෙමද? අයෑම් සොරි කරදර කලාට.. එයාලා ඉන්නෙ කොහෙද කියල දන්නවද..? "

" නෑ මම දන්නෙ නෑ.. "

කියූ කාන්තාව දොර වසා දැමුවා ය. අවිශ්ක මොහොතක් වැසුණු දොරටුව දෙස බලා සිට ආපසු හැරුණේ විශ්මයෙනි. 

කසුන් සහ ශකිලා විවාහ දිනයේ කියූ ආකාරයකට කරදර බාධක මැද එක වහලක් යටට වන්නට බොහෝ පෙරුම් පිරූ ඔවුන් මෙම නිවසට පැමිණියේ උතුරා ගිය සතුටකිනි. එසේ වූ කළ ඔවුන් නිවස විකුණා දැමීම පුදුමයකි. අවිශ්ක පෙර සිතූ ලෙසටම ඔවුන් යම්කිසි මුදල් අපහසුතාවයකට පත්වන්නට ඇතැයි ඔහු යළි සිතුවේ ය. මිනිස් ජීවිත වලට කරදර පැමිණෙන්නේ කලින් දන්වා නොවේ. නොසිතනා මොහොතක නොපැතූ විරූ ප්‍රශ්න කරදර ජීවිත මත පටවන්නට කාලය දනී. ඔහු යළි යතුරුපැදියට නගිමින් කල්පනා කළේ ශකිලාගේ පාර්ශවයෙන් උත්සවය පැවති නිවසට යාමටය. අදම මේ කටයුත්තේ නිමාවක් නොකළහොත් ඇල්බමය යළි අස්සක මුල්ලක සැඟවෙනු ඇත. ඊටත් වඩා කුරුලු ජෝඩුවක් මෙන් ප්‍රීතියෙන් පසුවුනු යුවලට කිසියම් කරදරයකට මුහුණ පාන්නට සිදුවීදැයි දැනගන්නට අවිශ්කට අවශ්‍ය විය. එසේ වීනම් ඉතිරි මුදල් නොගෙනම ඇල්බමය ඔවුන්ට ලබාදීම මගින් උදව්වක් කළ හැක. ශකිලාගේ නිවසේ ඔවුන් නොසිටියද ඇගේ පවුලේ අයෙකුගෙන් දුරකතන අංකයක් ලබාගැනීමට හෝ ඇල්බමය පවුලේ අයෙකු වෙත බාරදිය හැකිවනු හෝ ඇත.

වැහි මන්දාරමක සේයාවන්ද මතු වෙමින් තිබුණු නිසා අවිශ්ක යතුරුපැදියේ වේගය වැඩි කළේය. ශකිලාගේ නිවස පිහිටියේ ජනාකීර්ණ පෙදෙසක නොවේ. ප්‍රධාන පාරෙන් හැරී තරමක් දුර ගිය විට නිස්කලංක වටපිටාවකට උරුමකම් කියමින් ඒ නිවස පිහිටියේ ය. තරමක් පැරණි ක්‍රමයට තැනූ නිවසක් වූ එයින් ගාම්භීරත්වයක් දිස්වන්නේයැයි මුලින්ම මෙහි පැමිණි දිනයේත් අවිශ්ක සිතුවේය. එම දසුන මංගල ඇල්බමයට අවශ්‍ය පින්තූර ගැනීමේදී මනා ලෙස උපයෝගී වූ ආකාරය ඔහුට සිහි විය. හෝටල් වල නිවාඩු නිකේතන වල වැනි යම් යම් ස්ථාන වල කෘතිම ලෙස නිමවන ලද විසිතුරු තැන් වලට වඩා බොහෝ සුන්දර වටපිටාවක් මේ නිවස වටා ඇත.

යහපත් ලෙස තිබූ කාලගුණය ඉතා වේගයෙන් අයහපත් අතට හැරී ඇති සෙයකි. වැස්සට නොතෙමී ආපසු යන්නට නම් නොලැබෙනු ඇතැයි අහසට ඔරවමින් අවිශ්ක සිතුවේ පෝටිකෝව අසළට වන්නට නැවැත්වූ යතුරුපැදියෙන් බසින අතරතුර ය. වැස්සක් ඇද හැලුනොත් යතුරුපැදිය නොතෙමෙන්නට ය ඔහු එය පෝටිකෝව යට නතර කළේ. මංගල දිනයේ බොහෝ සොඳුරු ලෙස ඔහු දුටු වටපිටාවේ කිසියම් වෙනසක් සිදුවී ඇති බව අවිශ්කගේ නෙත ගැටිනි. නිවසේ ගාම්භීරත්වය වැඩි කරමින් නිවසට තරමක් නුදුරේ උසට වැවී තිබුණු ගස් කපා දමා තිබිණි. ඒ වෙනුවට එතැන නව දෙමහල් නිවසක් ගොඩ නැගෙමින් තිබිණ. පළමු දිනයේ මේ ස්ථානයේ තමන් දුටු මනරම් ස්වාභාවික දර්ශනය සිහිපත් වී අවිශ්කට දුක සිතිණි. ඒ දර්ශනය සුරැකිව පින්තූර ගත වී ඇති ඇල්බමය සහිත බෑගය අතින් ගෙන ඔහු හැරුණේය.

" කව්ද...? "

නිවස පිටුපස දෙසින් පැමිණි යොවුන් ගැහැණු ළමයෙකු අවිශ්ක දැක නතර විය. අවිශ්කගේ මතකයේ හැටියටත් පැයකට දෙකකට පමණ ඉහත පින්තූර පොත බැලූ නිසාත් ඇය ශකිලාගේ නැගණිය වග ඔහු ඇදින්නේය. ඇය ශකිලාගේ දෙවැනි මනාලියකට ද සිටියා ය.

" ශකිලා එහෙම ඉන්නෙ මෙහෙද..? "

අවිශ්ක ඇසුවේ ය.

" ඔව්.. අක්කා ඉන්නවා.. "

අවිශ්කට අස්වැසිල්ලක් දැනිණි. එසේනම් දැන් ඇල්බමය බාරදිය හැක.

" නංගිට මාව මතකද..? "

" ම්ම්ම්.... මතකයී..... ඒත්...... " මදක් වේලා අවිශ්කගේ මුහුණේ හැඩ වැඩ නරඹමින් උන් ඇය ඔහු හැඳින ගත්තා ය. " අර කැමරමන් නේද? අපේ අක්කගෙ වෙඩින් එක දවසෙ ආවෙ..? "

" අන්න හරි.. "

" අයියා මෙහෙ...? "

" මම ශකිලායි කසුනුයි මැරි කරල ගිය ගෙදරටත් ගියා. ඒ ගෙදර විකුණලා කිව්වා. ඒකයි මම මතක හැටියට හොයාගෙන මෙහෙට ආවෙ. " අවිශ්ක කියද්දී තරුණිය හැල හොල්මනකින් තොරව බලා උන්නාය. " වෙඩින් ඇල්බම් එක ගෙනියන්න කවුරුත් ආවෙ නෑ.. ඒකයි. "අත තිබූ බෑගය ඔසවා පෙන්වමින් ඔහු කීවේ ය. 

එහෙත් අක්කාගේ මංගල සේයාරූ එක්තැන් වුණු ඇල්බමය දකිද්දී සාමාන්‍යයෙන් නැගණියක වෙතින් එළියට පනින උද්යෝගය වෙනුවට එය වෙත ඇය හෙලුවේ තේරුම් ගත නොහැකි බැල්මකි. 

වැස්සකට අර අදිමින් සියුම් සිරි පොදයක්ද වැටෙන්නට විය.

" අක්කා ටිකක් සනීප නැතුව නිදි. මං කතා කරන්නම්. අයියා ඇවිත් වාඩිවෙන්න තෙමෙන්නෙ නැතුව... "

ඔහුට නිවස තුළට ආරාධනා කළ ඇය දොර රෙද්දකට වැසී නොපෙනී ගියාය. පුටුවකට බර දුන් අවිශ්ක හාත්පස සිසාරා නෙත් යැවුවේ මේ නිවස බොහෝ පාලුවට ගොස් ඇතැයි සිතමිනි. වෘත්තියෙන් කැමරා ශිල්පියෙකු වූ ඔහු යන එන හැමතැනදීම බොහෝ විට බලන්නේ වටපිටාව ය. මේ මේ ස්ථාන මේ මේ ආකාරයට කැමරාවේ සටහන් වෙතොත් කෙසේ වේදැයි සිතීම ඔහුගේ පුරුද්දයි. සියල්ල දෙස කලාත්මක ඇසකින් බලන්නට හැකියාවක් ඇත්නම් කැමරා ශිල්පියෙකුට එය විශාල දක්ෂතාවයකි. එහෙත් වටපිටාවේ සිරි නරඹන්නට අවස්ථාවක් අදනම් ඔහුට නොලැබුණි. විසිතුරු භාණ්ඩ සහ වීදුරු බඩු අසුරා තිබූ කැබිනට්ටුව මත පෙළට තබා ඇති ඡායාරූප එකතුවේ වූ පින්තූරයක් දැක අවිශ්ක ඉද්ද ගැසුවාක් මෙන් හිඳ උන් තැනින් නැගිට්ටේ ය. නැගිට්ටා නොව නැගිටවුනා කීවොත් නිවැරදිය. ඔහු අඩියක් දෙකක් ඉදිරියට ගොස් ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කළේය. එහි උන්නේ මනාලියක ලෙස සැරසී සිටින ශකිලා වුවද මනාලයා කසුන් නොවේ. A4 ප්‍රමාණයට විශාල කොට රාමු කරන ලද ඡායාරූපය දෙස අවිශ්ක විස්මයෙන් බලා සිටින්නට විය. 

අවිශ්ක ඡායාරූප ගත් දිනයේ ශකිලා සිටියේ පහතරට මනාලියක ලෙස සැරසීගෙනය. මෙහි ඇය සිටින්නේ බටහිර ක්‍රමයට මසන ලද සුදු පැහැ දිගු ගවොමකින් සැරසීගෙනය. මනාලයාගේ කියන්නට වරදක් නොවීය. කසුන් මෙන්ම කඩවසම් අයෙකි. කොහොමටත් මැනවින් හැඳගත් කළ කවුරුන් වුවත් එලෙසය. ශකිලාද අවිශ්ක රැගෙන ආ ඇල්බමයේ සිටින ආකාරයටම සුන්දර ලෙස සිනාවෙන් සිටී. ඔහුට සිතා ගැනීමට නොහැකි විය. ශකිලා කසුන් සමඟ විවාහ වන්නට පෙර වෙනත් විවාහයක් කරගත් අයෙක්ද? නැතහොත් මේ සිටින්නේ ඇගේ නිවුන් සොහොයුරියක්ද? මෙවන් වෙනත් අයෙක් මංගල දිනය දා නොසිටි බව අවිශ්කට හොඳටම මතකය. එසේ වූවානම් කැමරා ශිල්පියා වූ තමන්ට ඇය දකින්නට ලැබෙනු ඇත. පින්තූරය දෙසම නෙත් යොමාගෙන සිටි ඔහු හැරුණේ පිටුපස දෙසින් ඇසුණු සියුම් ශබ්දය නිසාය.

' ශකිලා..' 

වසරකට පමණ ඉහත මෙම නිවසේදීත්, සැමියා සමඟ මධුසමය ගත කරන්නට ඇය ගිය නිවාඩු නිකේතනයේදීත් අනතුරුව යුවල පදිංචියට ගිය නව නිවසේ හෝම් කමින් එකේදීත් තමන් දුටු සුන්දර මනාලිය සිහි කරගනිමින් අවිශ්ක ශකිලා දෙස බැලුවේ ය. ඇය පෑ සිනාවට පිළිතුරු සිනහවකින් සංග්‍රහ කරන්නට ඔහුට මද වේලාවක් ගත විය.

" වාඩිවෙන්න... "ශකිලා කීවාය. 

නැවතත් පුටුවක වාඩිවෙන අතරවාරයේ අවිශ්කගේ දෑස නිරීක්ෂණය කොට නිගමනය කළේ ශකිලා ගැබිණියක බවයි. ඇගේ සිරුරේ වෙනසටත් වඩා එය කියා පෑවේ ඇය හැඳගෙන උන් ගැබිණියන් උදෙසා වූ විශේෂ ගවුමයි.

" මට නමනම් මතක නෑ ඔයාගෙ.. "

ඇයද පුටුවක වාඩිවෙන ගමන් කීවාය.

" මම අවිශ්ක.. "

" ආහ්.. ඔව් ඔව්.. "

ඇය කතා කරන්නේ කතා නොකර බැරිකමට යැයි අවිශ්කට සිතිණි. එහෙත් ඔහුටත් කුමක් කතා කළ යුතුදැයි නොවැටහිණි. ඇල්බමය දුටු කළ නැගණිය හැසිරුණු අන්දමත් තවමත් ඔහු ඉදිරියේ බැබළෙන මංගල ඡායාරූපයත් අවිශ්කගේ වචන ගිලගෙන තිබිණි. මංගල දිනයේ කසුන් බෙහෙවින් මිතුරු වූ නිසා ' කෝ කසුන්..? ' කියා අසනවාද? නැතහොත් ඇල්බමය රැගෙන ආ බව කියනවාද? එසේත් නැත්නම් දෑස ඉදිරියේ තිබෙන පින්තූරය පිළිබඳ යමක් අසනවාද?

සිරි පොද වර්ෂාව ද දැන් තරමක වර්ෂාවක් බවට පරිවර්තනය වී ඇත. 

" මම ඔයාලා හෝම් කමින් එක ගත්තු ගෙදරටත් ගියා. එහෙ හිටපු ලේඩි කෙනෙක් කිව්වා ගේ විකුණලා තියෙන්නෙ කියලා. "

අවසන අවිශ්ක ආරම්භ කළේය. ශකිලාගේ නැගණිය විසින් තමන් පැමිණ ඇති කාරණය ඇයට කියන්නට ඇති වග නිසැකය. එහෙත් ඇය තවමත් ඇල්බමය පිළිබඳව විමසුවේවත් ඒ දෙස බැලුවේවත් නැතිවීම විශ්මයකි.

" මම දැන් එහෙ නෑ.. "

ප්‍රධාන දොරටුවෙන් එපිට පෙනෙන කඩාහැළෙන වැහි පොද දෙස  නෙත් යොමාගෙන බොහෝ සෙමින් ශකිලා කීවාය. අවිශ්ක නිහඬවම සිටියේ කුමක් කිවයුතුදැයි නොවැටහුණු කලය.

" අපි ඩිවෝස් වුනා.. "

හදිසියේම අහස ගුගුරන්නට විය. වර්ෂාවද වැඩි විය. අවිශ්කට අදහාගත නොහැකි වූයේ ශකිලාගේ වදන් ය. මැවි මැවී ඔහුගේ නෙත් ඉදිරියේ දිස් වූයේ මංගල දිනයේ කුරුලු ජෝඩුවක් මෙන් සැහැල්ලුවෙන් සතුටින් සිටි යුවලයි. එවන් ජීවිතයක් තමන්ද පැතූ වගත් එම පැතුම එක වරම ඉරි තැලී ගිය අයුරුත් ඔහුට දැනිණ.

" අ..අයැම් සොරි... ම...මම ඒක දැනගෙන නෙමෙයි මේ ගමන ආවෙ. "

අවිශ්ක සැබැවින්ම කණගාටු වූයේය. එහෙත් සිතූ තරම් කණගාටුවක් ශකිලා වෙතින්නම් දිස් වූයේ නැත. ඇය හිත හදාගෙන ඇතිවා වන්නට ඇත.

" ඒකට කමක් නෑ...මං හිතන්නෙ කසුන් ගේ විකුණලා රට ගිහින්... "ඇය කීවාය.

" හෙටට මගෙ ස්ටුඩියෝ එකේ ස්ටාර්ට් එකට අවුරුද්දයි. වැඩ වැඩි හින්දා ඇල්බම් එක ගැන අමතක වෙලා තිබිලා අද ආපහු දැක්කෙ. මම ස්ටූඩියෝ එක ඕපන් කරල ඉස්සරලම කළේ ඒ වෙඩින් එක. මතක ඇතිනෙ මම ඒක කිව්වා.. අද වෙනකං ඇල්බම් එක ගෙනියන්න කවුරුත් ආවෙ නැති හින්දා මම මේ ඒක අරන් ආවෙ. "

අවිශ්ක කීවේ තමන් අතින් වරදක් වීනම් සමාව අයදින ස්වරයකිනි. ඇය සිනාසුන නමුදු එවර ඒ සිනාවේ බැරෑරුම් බවක් ගැබ්ව තිබිණි.

" අපි මැරි කරල සතියක් වත් සතුටින් හිටියෙ නෑ අවිශ්ක.. මම රැවටුනා.. අවුරුදු හතරක් ආශ්‍රය කරලත් මට කසුන්ව අඳුරගන්න බැරිවුණා... ඒකයි උනේ... "

අවිශ්කට යළි යළිත් දැනෙන්නට වූයේ විශ්මයයි. ඔවුන්ගේ ප්‍රේමය, ආදරය දුටු එදින මේ යුවල සංසාරයම සතුටින් ජීවත්වන යුවලක් වේවියැයි ඔහු සිතුවේ ය.

" කසුන්ට එයාගෙ ඔෆිස් එකේ වෙන ගර්ල් කෙනෙක් හිටියා. මම දවසින් දෙකින් ඒක දැනගත්තා. ඊට පස්සෙ රණ්ඩු විතරයි තිබුණෙ. ඒක නතර කරන්න මං ගොඩක් උත්සහ කළා. වැඩක් වුනේ නෑ.. ඇස් දෙකට පෙනි පෙනී උන් දෙන්නම කිව්වෙ එහෙම එකක් නෑ කියල. බැරිම තැන මං දමල ගහල ගෙදර ආවා. මම ඒ ගෙදර මාසයක් වත් හිටියෙ නෑ.. පස්සෙ දවසක් කසුන් හොඳටම බීල ඇවිත් මෙතන ලොකු කරදරයක් කරා මං එයාව බොරුවට සැක කරනවා කියලා. අම්මටයි තාත්තටයි දෙන්නටත් කුණුහරුප කියලා මුලු ගමටම ලැජ්ජා කරා. පස්සෙ මම නඩුවක් දාලා අයින් වුනා. අපේ කසාදෙ මාස දෙකක්වත් පොතේ ලියවිලා තිබුණෙ නෑ අවිශ්ක... "

බොහෝ හුරුබුහුටි ලෙස සුරුවම් ලෙස මංගල දිනයේ කතා බස් කළ, සිනාසුණ ශකිලා කලු කරගත් රෞද්‍ර මුහුණකින් යුතුව සහ තරහක් මුසුවුනු හඬකින් කීවාය. වසර හතරක් පෙම් කොට, පෙරුම් පුරා, නෑ පරපුර ඉදිරියේ පෝරුව මත නැග අෂ්ඨක කියවා, ජය මංගල ගී හඬ මැද අතපැන් වත්කොට එක වහලක් යටට වී සතියක් ඇතුළත සිත් බැඳීම බිඳවාගෙන මසකින් වෙන්වී ගොස් දෙමසක් ගත වන්නටත් ප්‍රථම විවාහය කටුගා දමන්නට හැකිදැයි අවිශ්ක සිතුවේ ය. ඊළඟට ඔහුගේ නෙත රැඳුණේ කැබිනට්ටුව මත රැඳි මංගල ඡායාරූපය වෙතය. ඒ සියල්ල මෙතරම් විගසින් අමතක කොට යළි විවාහ වන්නටත් ඇයට හැකිවී ඇත. ඔහු ඇගෙන් කිසිවක් නෑසුවේ ය. ඔහුට ඕනෑ වී තිබුණේ දැන් එම නිවසින් පිටවීමටයි. එහෙත් ඇදහැලෙන වර්ෂාව එයට බාධාවකි. 

" මම ආයෙ මැරි කළා. " කැබිනට්ටුව මත වූ ඡායාරූපය දෙස බලාගෙන ශකිලා කතා කරන්නට වූවාය. " අපේ ගෙදරින් කසුන්ට වැඩි කැමැත්තක් තිබුණෙ නෑ. ඒ දවස්වල අපේ අම්මලා මට මනමාලයොත් හෙව්වා. මං අකමැති වුනු හින්දා අන්තිමට කසුන්ට කැමති වුනේ. ඩිවෝස් වුනාට පස්සෙ අම්මලා ගෙනාපු ප්‍රපෝසල් එකකට කැමති වෙලා පොඩි පාර්ටි එකක් අරගෙන අපි මැරි කළා. මම කාලෙක ඉඳන් දන්න කෙනෙක්. මම ගොඩක්ම එහෙම කළේ කසුන්ට රිද්දන්න. මාව රවට්ටපු එකට පාඩමක් උගන්නන්න."

අවිශ්ක කිසිවක් නොකියා බලාසිටියා පමණි. එදා සිටි හුරුබුහුටි මනාලියත් අද ඔහු ඉදිරියේ වාඩිවී සිටින ශකිලාත් අතර ඔහු පැහැදිලි වෙනසක් දුටුවේ ය. ඒ වෙනස ඔහුගේ සිත සසල කොට තිබිණි. කලකිරීමක් බඳු හැඟීමක් සිත තුළ රෝපණය වෙමින් තිබේ.

වර්ෂාව සෙමින් තුරල් වෙමින් තිබිණ. ප්‍රධාන දොරටුවෙන් එපිටට දෙනෙත් යොමු කළ අවිශ්කට නිවස දෙසට පැමිණෙන පැන්ඩා වර්ගයේ අලු පැහැ කාරයක්ද දැකගන්නට ලැබිණි. 

" හස්බන්ඩ් එනවා.. "

හිඳ උන් අසුනින් නැගිට පෙරමගට යමින් ශකිලා කීවාය. 

පෝටිකෝව යට නතර වූ කාරයෙන් වසර තිහක පමණ පෙනුමින් යුතු ටයිකෝට් පැළඳි, බ්‍රීෆ්කේසයක් අතින් රැගත් පුද්ගලයෙකු බිමට බැස්සේ ය. ශකිලා ඔහු වෙත ළං වී අතකිනුත් අල්වාගෙන මොන මොනවාදෝ මුමුණා කීවාය. තමන් දෙස නෙත් කොණින් බලන ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස්වන අයුරු අවිශ්ක හැඳිනගත් නමුදු ඒවායින් කියැවෙන්නේ දුකද, කේන්තියද කියා ඔහුට සිතාගත නොහැකි විය. එනිසා තවත් මෙතැන ටැක් ගැහීම නුවණට හුරු නැති බව වටහාගත් හෙතෙම පුටුවෙන් නැගී උන්නේ ය. සිරි පොද වරුසාවක් තවමත් ඇද වැටේ. එහෙත් තවත් ප්‍රමාද විය නොහැක. වෙලාවද සවස හයට ආසන්නව ඇත. ටීපෝව මත ඔහු විසින් තැබූ ඇල්බමය දෙස බැලූ ඔහුට කුමක් කළයුතුදැ යි මදකට සිතාගත නොහැකි විය. මෙතෙක් වේලාවකට ශකිලා එදෙස බැලුවේවත් නැත. මෙය මෙතැන තබා ගියහොත් එය මේ පවුල් ජීවිතයට ප්‍රශ්නයක්ද විය හැක. ඇල්බමයේ ලස්සනට සැරසුණු තමන්ගේ රුව බලන්නටවත් ශකිලා උත්සුක නොවීමෙන් වැටහෙන්නේ ඇය ඇගේ දික්කසාද සැමියාට බොහෝ වෛර කරන බවකි. අවිශ්ක බෑගය අතට ගත්තේ ය.

" මම යන්නම් ශකිලා එහෙනම්... " 

තවමත් කාරය අසල සිටින දෙදෙනා දෙස බැලූ අවිශ්ක කීවේ ශකිලාගේ සැමියා වෙත සිනහවක්ද සංග්‍රහ කරමිනි. නමුදු කට කොණකින් නෝන්ඩි හිනාවක් දැමූ ඔහු ඉවත බලාගත්තේ ය.

" හොඳයි අවිශ්ක..." 

කියමින් ශකිලා යටැසින් සිය සැමියා වෙත බැල්මක්ද හෙලුවා ය.

නිවසට යනවා වෙනුවට අවිශ්ක යතුරුපැදිය ධාවනය කළේ නැවතත් AVISHKA STUDIO වෙතය. දොරටුව යන්තමින් විවෘත කොට ඇතුළට ගිය ඔහු විදුලි බල්බය දල්වා දොරටුව වසා දැමුවේ ය. The Story of Kasun & Shakila බහාලූ බෑගය කැෂියරය මත තබා ඔහු අසුනකට බර දුන්නේ ය. බිත්තියේ ගසා ඇති කසුන්ගේත් ශකිලාගේත් ඡායාරූපය දෙස නෙත් හෙලූ ඔහුට වේදනාවක් දැනුණි. එහි කසුන්ගේ උරහිසත් පපුවත් අතර ප්‍රදේශය මත හිස වාරුකොට ගෙන සුන්දර ලජ්ජාශීලි සිනහවකින් යුතුව සිටින ශකිලාගේ හිස් මුදුනත මත කසුන් සියුමැලි හාදුවක් තබයි. එවන්ම වූ සිනහවක් ශකිලාගේ දෙවැනි මංගල ඡායාරූපයේද ඇගේ මුවග තිබිණි. බොරුවට මවාගත් ව්‍යාජ සිනහව ඇත්තේ මේ පින්තූරයේද නැතහොත් ඒ පින්තූරයේද කියා අවිශ්ක සිතුවේ ය. 

ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවිශ්ක නොදත්තේ ය. වැරදිකරු කසුන්ද ශකිලාද යන්න ඔහු දන්නේ නැත. එහෙත් බොහෝ සුන්දරයැ යි සිතූ ඒ යුවලගේ කතාන්දරය අවිශ්කගේ සිත දුකකින් පුරවා තිබිණ. කසුන්ට පාඩමක් උගන්වන්නට ශකිලා වෙන අයෙකු හා විවාහ වී ඇත. කසුන් තමන් සමඟ මංගල දිනයේ පැවසූ ආකාරයට බලාපොරොත්තු පොදි බැඳගෙන බොහෝ පෙරුම් පුරා ස්වඋත්සාහයෙන් තැනූ නිවස විකුණා දමා ඔහු විදේශ ගතවී ඇත. උදෑසන සිටම හෙටට වසරක් පිරෙන සිය චිත්‍රාගාරය පිළිබඳව පුදුම සතුටකින් සිටි ඔහුට දැන් තෝරාගත නොහැකි බර හැඟීමක් දැනේ. ඔහු දීර්ඝ සුසුමක් පිටකර හැරියේය. එය කසුන් ශකිලා ප්‍රේමයේ ඛේදාන්තය අරබයා ද නොඑසේනම් ආදරය සුන්දරයැ යි තමන් සිතූ සිතුවිල්ල පුස්සක් වීම නිසා දැනුණු කලකිරීම නිසාදැ යි ඔහු දැන නොඋන්නේ ය.