Thursday, 31 October 2013

~~~ නුඹට ~~~

සහස් තරු කැට 
දිලෙන අහසක,
පුර හඳක් ලෙස
නුඹ දිලීයන්...
එපුර හඳ මැද
පුංචි සාවිය
ලෙසම ළඟ හිඳ
නුඹ රකින්නම්...

සිත් සතන් සැම
නිවා සනහන,
මියුරු ගීයක් 
නුඹ ගයාපන්...
එසිත් පිනවන
ගීය නළවන
මධුර මනෝහර
තනුව වෙන්නම්...

උතුම් දයාබර
නුඹේ මුදු පෙම,
මටම පමණක්
සින්න කරපන්...
එපෙම් රුවනට
වැඩිය සෙනෙහෙන්
සසර වසන තුරු
ළඟ හිදින්නම්...

අඩි උස ( high heels )

අඩි උස සපත්තු දැම්මම ලස්සනයි, හැඩයි තමයි. ඒක ඉතින් මොඩර්න් ලෝකෙ ස්ටයිල් එකක්නෙ. ඒ වුනාට සමහරු උස කියන එකෙත් උපරිම උස සපත්තුනෙ දාන්නෙ. මෙන්න මේ වගේ...  :O
 දාගෙන ඇවිදගන්නත් බැරි, හදිස්සියකට දුවාගන්නවත් බැරි,  සපත්තු දාන අයත් ඉන්නවනෙ. හැබැයි ඉතින් ඔය අඩි උස සපත්තු ශරීර සෞඛ්‍යයට නම් එච්චර හොඳ නෑ.. ඒකත් ඉතින් කවුරුත් නොදන්න දේකුත් නෙමෙයිනෙ. දැන දැනත් ඔව්වා දාන හේතුවනම් මොකද්ද කියලා මන්දා. කාලයේ තාලයට හැඩ ගැහෙන්න වෙන්න ඇති.  මොන දේකින් බැලුවත් දැන් මේ විපරීත ලෝකෙ වෙන්නෙ කාලයේ තාලයට හැඩ ගැහෙන්න ගිහින් මිනිස්සු ලෙඩ වෙන එක, ආයුෂ කෙටි වෙන එක තමා.

චීනෙ විද්‍යාඥයො පිරිසක් ළඟකදි කාන්තාවන් සහ හයි හීල්ස් යොදාගෙන පර්යේෂණයක් කරලා. ඒකෙන් හෙළිවෙලා තියන විදියට උස අඩි පාවහන් පාවිච්චි කරන අයට දණහිස් අමාරු, කොන්දෙ අමාරු හැදෙනවා වැඩිලු. අඩි උස සපත්තු දාගෙන බස් වලට දුවන කාන්තාවන්ට එහෙම මේ තත්වය ගොඩක් බරපතලයිලු. ඒ වගේ අයට ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳෙන අවදානමත් වැඩියි කියල තමයි එයාල කියන්නෙ. සපත්තු වල උස වැඩි වෙන්න වෙන්න මේ අවදානම් තත්වය  වැඩි වෙනව කියලත් එයාල හොයාගෙන තියනව.


ඇයි අප්පා තව අවුරුද්දක් දෙකක් යහතින් ජීවත් වෙන්න තියන ජීවිතේ, මේ පාට පාට කූරු උඩ නැගල අවුල් කරගන්නෙ?  සුදුසු නුසුදුසු තැන්, වෙලාව අවේලාව එහෙම බලලා වත් ඕව පාවිච්චි කරනවනම් කකුල් අමාරු කොන්දෙ අමාරු වලින් හරි ටිකක් බේරිලා ඉන්න පුලුවන් වෙයි.


Monday, 28 October 2013

පෙම්බර මව්නි...

දස මසක්ම නුඹ කුස තුළ මා                      හෙව්වා
බිහි කර ලොවට මා ආදරයෙන්                   හැදුවා
රුධිරය නුඹේ කිරි කොට මා හට                 පෙව්වා
පෙම්බර මව්නි නුඹ හට මහිමය                  වෙම්වා

පින්බර නුඹේ මුදු සෙනෙහස                    සිහිලැල්
සිහිවෙන විටදි නෙතගට මතු වෙයි            කඳුළැල්
උණුසුම සොයාගෙන මව් උකුලේ              සුරතල්
එන්නට හිතයි එක පිම්මට සේ                  පවනැල්

හිත් පිත් නොමැති මිනිසුන් මා වට                   කර
වියරු ලෙසින් හැසිරෙයි ලෙස රුදු                 කතර
නපුරුයි අම්මෙ දරුණුයි මේ වැලි                   කතර
සිහිවෙයි නුඹේ ප්‍රේමය කඳුළැල්                     අතර

නුඹගේ සෙනෙහෙ කොතරම් නම්              සවුමියද
ලෝ අන් යමක් ඒ වෙත සම කළ                  හැකිද
සිහිනෙන් පවා සිහිවෙයි ඔය ගුණ                    සුවඳ
නුඹෙ උණුහුමට ගුලි වෙන්නේ                    කවදාද

Saturday, 19 October 2013

කන්දක් නගින්න අමාරු තරමටම බහින්න ලේසියි


සමනල කන්ද කොයි තරම් උසද? හරි ආසාවෙන් සිරී පාදෙ නගින්න ගියාට කන්ද දැක්කම අපි බය වෙනවා. ඈතදි කන්දෙ ලයිට්ස් දැක්කම හරි ආසයි. ඒත් නගින්න ගත්තම ලේසි නෑ. මුලදි ආසාවෙන් නගින්න ගත්තට මගදි හති වැටෙනවා. හැම පඩියක්ම නගින්න ඕනි අපේම කකුල් දෙකෙන්නෙ. තමන්ගෙම මහන්සියෙන්, තමන්ගෙම ශක්තියෙන්. වෙන කාගෙ හරි අතක එල්ලිලා ඒ වාරුවෙන් ටික දුරක් නගින්න පුලුවන් වෙයි. හැබැයි ඒක දිගටම කරන්නත් බෑනෙ. ඒ අයත් මගදි හති වැටිලා අපිව අතෑරලා දමාවි. ඉතින් හිමීට හිමීට නගින්නයි තියෙන්නෙ. පඩියෙන් පඩිය මහන්සි වැඩියි තමයි. ඒත් නගින්න ඕනි.

මහගිරි දඹේ නගින එකනම් හරිම අමාරුයි. පඩියෙන් පඩිය බොඩි එකේ බරත් වැඩි වෙනවා වගේ. මෙච්චර දුර නැගලත් ආපහු බහින්නමයි හිතෙන්නෙ. අනේ... දැන්නම් මලුවත් පේනවා. ඝාන්ඨාර සද්දෙත් දැන්නම් හොඳටම ඇහෙනවා. ඒත් කකුල් රිදෙනවා. මහන්සියි. බොඩි එකේ තිබුණු එනර්ජි වල පවර් එක දැන් නෑ. මෙච්චර වෙලා නැගපු පඩි වලට ඒ පවර් එක යෙදෙව්වනෙ. බහින්නමයි හිත. ඒත් මෙච්චර නැගල ආපහු බහින එක මොන මෝඩ කමක්ද සිරි පතුල නොබලා..? හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ. ඉතිරි පොඩ්ඩත් කොහොම හරි නගිමු. හැමදාම ශ්‍රී පාදෙ වදින්න බෑනෙ. ලබා ගත්තු අවස්ථාව මග ඇරගන්න හොඳ නෑ.

මලුවට ආවම කොයි තරම් හිතට සැනසීමයිද? සිරි පතුල වැන්දා. සමන් දෙවියො, දොළොස් මහේ පහන දැක බලා ගත්තා. පාන්දර සූරිය උදාව මොන තරම් ලස්සනද? පුදුමයි..! පඩි දාස් ගාණක් නැගල බොඩි එකට දැනුනු තෙහෙට්ටුව කොහේ ගියාද නෑ. හිත නිස්කලංකයි. සැනසීමයි.  නගින්න අමාරුයි කියලා මගදි ආපහු බැස්සනම් මේ කිසිම ප්‍රතිලාභයක් නෑනෙ. මේ සැනසීම නෑනෙ. දැන් ඉතින් පහළට බහින එකත් වැඩක්ද..?
කන්දක් නගින්න අමාරු තරමටම බහින්න ලේසියිනෙ.

හරියට අපේ ජීවිත වල වගේ. පහසුයි කියලා යම් යම් දේවල් ආසාවෙන් පටන් ගත්තට හිතන තරම් ලේසි නෑ. හැබැයි අමාරුයි කියලා තමන්ගෙ ඉලක්කයට යන ගමන මගදි අතහැරල දැම්මොත් කවදාවත් ජයග්‍රහණයක් නෑ. සැනසීමක් නෑ. නිදහසක් නෑ. ලස්සනක් නෑ. අද ජීවිතේ අමාරු තරමටම ඉදිරිය ලස්සනයි. හරියට නගින්න අමාරුවට තිබුණු සමනල කන්ද, නැග්ගට පස්සෙ උඩමලුව වගේ.

ඒ වගේම දිනුම දැක දැක තමයි වැඩියක්ම පසු බාන්න හිතෙන්නෙ. මොකද ඒ හරිය තමයි අමාරුම. හරියට මහගිරි දඹේ වගේ. ඒත් ඉලක්කය අත් නොහැර එල්ලිලාම හිටියොත් ජයග්‍රහණය තමන්ගෙමයි. වෙන කාගෙවත් නෙවෙයි. හරියට උඩ මලුවට නැග්ගම ඒ පුදුම සුන්දරත්වය දැකගන්නෙ තමන්ගෙම ඇස් වලින් වගේ. සිරි පතුල වැඳගන්නෙ තමන්ම වගේ............

නාවෙ කිම

හැමදාම හිරු නැගෙන මුල් පැයේ හිඳන්..
නුඹ ඒද මග බලමි නෙතු කැන් විදන්..
මුකුලිතව දැවෙන සිත පුබුදනු රිසින්..
නුඹ නාවෙ කිමද මම නොදනිමි ඉතින්..

අලු පාට හැන්දෑව ගෙවිලා ගොසින්..
ගොම්මනක අඬහැරය දස අත ඇවිත්..
නුඹ කොහිද යහතින්ද තැවෙනා සිතින්..
නිදි නොලැබ මුලු රැයම කරමී පහන්..

දෙනෙත රිදවා නැගෙන කඳුළැල් සෙමින්..
පිස දමමි මුලු ලොවට සැඟවී හොරෙන්..
වරද කිම මම කරපු රිදවන්න මෙලෙසින්..
පවසන්න හෝ එන්න අයැදිමි සොවින්.. 

Tuesday, 15 October 2013

ඇස පිනවන දසුන්

මේ ලෝකය හරිම අමුතු තැනක්. ලස්සන, අවලස්සන හැමදේම නොඅඩුව තියන තැනක්. ඒ අතරින් අපේ ඇස් කවදත් කැමතියි ලස්සන දේ දකින්න. කෘතිම දේ වලට වඩා හැමදාමත් ලස්සන ස්වභාවික දේවල්. මිනිස්සු විසින් නිර්මාණය කළා වුනත් ස්වාභාවික පෙනුමක් තියනකොට ඒවා හරිම ලස්සනයි.මල් කියන්නෙත් කොයි තරම් ලස්සන දෙයක්ද... මේ තියෙන්නෙත් ඒ වගේ ලෝකෙ තියන පුදුම ලස්සන ස්ථාන කීපයක්..

චෙරි බ්ලොසම් ස්ට්‍රීට්, ජර්මනිය



බම්බූ ෆොරස්ට්, ජපානය



විස්ටෙරියා ෆ්ලවර් ටනල්, ජපානය



බ්ලැක් ෆොරස්ට්, ජර්මනිය



ලැවෙන්ඩර් ෆීල්ඩ්ස්, ප්‍රංශය


හිටාචි සී සයිඩ් පාර්ක්, ජපානය



ෆ්ලවර් ගාර්ඩ්න්, හෝලන්ඩ්